නව ග්‍රාම නිලධාරී සේවා ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ප්‍රථම වතාවට ග්‍රාම නිලධාරී සේවයේ III ශ්‍රේණිය සඳහා තේරී පත් වූ නිලධාරීන් 1,540 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (08) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කිරීමට නියමිතය.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා සඳහන් කළේ මෙම බඳවා ගැනීම මඟින් ග්‍රාමීය මට්ටමේ පවතින ග්‍රාම නිලධාරී හිඟයට යම් විසඳුමක් ලැබෙනු ඇති බවයි.
මෙම බඳවා ගැනීම සඳහා අයදුම්කරුවන් 79,315 දෙනෙකු අයදුම් කර තිබූ අතර, 2026 මාර්තු 29 වැනිදා පැවති ලිඛිත තරග විභාගයට අපේක්ෂකයින් 43,624 දෙනෙකු පෙනී සිට තිබේ.
ඉන් අනතුරුව පුරප්පාඩු 1,605ක් සඳහා ඉහළම ලකුණු ලබාගත් අපේක්ෂකයින් 3,286 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා තිබූ අතර, සැප්තැම්බර් 04, 05 සහ 06 යන දිනවල සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබේ.
ලිඛිත විභාගයේ සහ සම්මුඛ පරීක්ෂණයේ ලකුණු අනුව සකස් කළ අවසන් ප්‍රමුඛතා ලේඛනය සැප්තැම්බර් 24 වැනිදා අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන් වේ.
පත්වීම් ලබන 1,540 දෙනාට ඔක්තෝබර් 12 වැනිදා සිට මාස 03ක පුහුණුවක් ලබාදීමට නියමිත අතර, පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව ඔවුන් අදාළ සේවා ස්ථාන වෙත යොමු කිරීමට නියමිතය.
මේ අතර ලබන වසරේදී තවත් ග්‍රාම නිලධාරීන් 1,500කට අධික පිරිසක් බඳවා ගැනීමට අවශ්‍ය මූලික කටයුතු දැනටමත් සූදානම් කරමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
















