සෞදි අරාබිය විසින් ශ්‍රී ලාංකික තරුණයෙකු වන සිවරාසා අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහාම අවලංගු කළ යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය සඳහන් කර ඇත්තේ අනෝජන්ට එරෙහි චෝදනාව ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට අදාළ කරුණක් බැවින්, ඔහු වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කළ යුතු බවයි.
මොහොමඩ් නබිතුමාට අපහාස කරන බවට සැලකෙන අදහසක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අනෝජන්ට සෞදි අරාබියානු අභියාචනාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
මේ අතර, අනෝජන් රඳවා සිටින දම්මාම් බන්ධනාගාරය වෙත සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා අද (08) යාමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ, බන්ධනාගාරය තුළදී තවත් සිරකරුවෙකුගේ පහරදීමකින් අනෝජන් තුවාල ලැබූ බවට වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහාය.
එමෙන්ම මරණ දඬුවම සම්බන්ධයෙන් සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා එරටට ගොස් සිටින ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමද අද වැඩිදුර කටයුතු සිදුකිරීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කර ඇත්තේ ඊයේ (07) දිනයේදී සෞදි නීතිඥවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගත් බවත්, ලබන 17 වැනිදාට පෙර අනෝජන් වෙනුවෙන් අභියාචනය ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.















