කැන්යාවෙන් සජීවී කුහුඹුවන් හොර රහසේ පිට කිරීමට උත්සාහ කළ චීන ජාතිකයෙකුට එරෙහිව එරට අධිකරණය විසින් රුපියල් මිලියනයක (ඇමෙරිකානු ඩොලර් 7,746) දඩයක් සහ වසරක සිර දඬුවමක් අද (15) නියම කරන ලදී.
ජැං කෙකුන් (Zhang Kequn) නමැති මෙම චීන ජාතිකයා පසුගිය මාසයේදී නයිරෝබි ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත්වූයේ ඔහුගේ ගමන් මලු තුළ තිබූ සජීවී ‘වත්ත කුහුඹුවන්’ (Garden Ants) 2,200කට අධික සංඛ්‍යාවක් සමඟිනි. චීනය වැනි රටවල කුහුඹුවන් ඇති කිරීම (Ant-keeping) විනෝදාංශයක් ලෙස ඉහළ පිළිගැනීමක් ලබා ඇති අතර, විනිවිද පෙනෙන භාජන තුළ කුහුඹු ජනපද නිරීක්ෂණය කිරීම සඳහා විශාල මුදලක් වැය කිරීමට එරට වැසියන් පෙළඹී සිටිති.
මෑත කාලීනව කැන්යාව තුළ කුහුඹු ජාවාරම ඉහළ ගොස් ඇති බැවින්, මෙවැනි වැරදි වළක්වා ගැනීම සඳහා දැඩි දඬුවම් ලබා දීම අත්‍යවශ්‍ය බව නඩු විභාගයේදී මහේස්ත්‍රාත්වරිය අවධාරණය කළාය. විත්තිකරු සිය වරද පිළිගෙන ඇති අතර, ඔහුට කුහුඹුවන් සැපයූ බවට චෝදනා ලැබූ කැන්යා ජාතිකයෙකුට එරෙහිව ද නඩු පවරා තිබේ.














