ඩුබායි හි වඩාත්ම සුවිශේෂී සලකුණක් වන බර්ජ් අල් අරාබ් (Burj Al Arab) සුඛෝපභෝගී හෝටලය මාස 18ක කාලයක් පුරා ක්‍රියාත්මක වන දැවැන්ත නවීකරණ කටයුත්තක් සඳහා වසා තැබීමට තීරණය කර තිබේ. 1999 වසරේ විවෘත කිරීමෙන් පසු මෙම හෝටලය සම්පූර්ණයෙන්ම වසා දමා නවීකරණය කරන පළමු අවස්ථාව මෙය වේ.
ඇමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන යුද ගැටුම් හේතුවෙන් කලාපයේ සංචාරක කර්මාන්තය මන්දගාමී වී ඇති පසුබිමක මෙම තීරණය ගෙන ඇත. පසුගිය මාර්තු මාසයේදී ඉරානය එල්ල කළ ප්‍රහාරයක සුන්බුන් වැදීමෙන් හෝටලයේ ඉදිරිපස කොටසට (Facade) සුළු හානි සිදුවුවද, මෙම නවීකරණ කටයුතු එම සිදුවීමට සම්බන්ධ නොවන බව හෝටල් පාලනාධිකාරිය පවසයි.
පැරිස් නුවර අභ්‍යන්තර නිර්මාණ ශිල්පී ට්‍රිස්ටන් අවර්ගේ (Tristan Auer) මෙහෙයවීමෙන් මෙම කටයුතු සිදු කෙරෙන අතර, අදාළ කාලසීමාව තුළ වෙන් කිරීම් සිදු කර ඇති අමුත්තන්ට අසල පිහිටි වෙනත් හෝටල්වල නවාතැන් පහසුකම් ලබා දීමට පියවර ගෙන ඇත. කලාපීය යුදමය තත්ත්වය නිසා ඩුබායි වෙත පැමිණෙන සංචාරකයන්ගේ අඩුවීමක් දක්නට ලැබෙන අතර, එය මෙම නවීකරණ කටයුතු සඳහා සුදුසුම කාලය ලෙස බලධාරීන් තෝරාගෙන තිබේ.














