ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික පණිවුඩ හුවමාරු කර ගැනීම් තවදුරටත් අඛණ්ඩව සිදුවන බව ඉරාන විදේශ අමාත්‍යංශය අද (15) ප්‍රකාශ කළේය. ඉරාන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ඉස්මයිල් බගායි (Esmaeil Baghaei) සඳහන් කළේ, දෙරට අතර සන්නිවේදන කටයුතු සඳහා පාකිස්ථානය ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරන බවයි.
මීට පෙර පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැති සාකච්ඡාවල අඛණ්ඩ පියවරක් ලෙස, පාකිස්ථාන දූත පිරිසක් අද දින ටෙහෙරානයට පැමිණීමට නියමිත බව ද ඔහු අනාවරණය කළේය. ඉරානයේ ස්ථාවරය ඉතා පැහැදිලිව අදාළ පාර්ශව වෙත දන්වා ඇති බවත්, පසුව සිදු කළ සම්බන්ධීකරණ කටයුතුවලදී ද එම ස්ථාවරය යළි යළිත් තහවුරු කර ඇති බවත් විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා වැඩිදුරටත් අවධාරණය කළේය.
කලාපීය නොසන්සුන්තාව මධ්‍යයේ වුවද මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් හරහා විසඳුම් සෙවීමට පාර්ශවයන් උත්සාහ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතව තැබීම සහ අනෙකුත් භූ දේශපාලනික ගැටලු සම්බන්ධයෙන් මෙම දූත පිරිසේ සංචාරයේදී වැඩි අවධානයක් යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.













