ඉරානයේ ප්‍රධානතම ආදායම් මාර්ගය වන තෙල් අපනයන ජාලය ඉලක්ක කර ගනිමින් වොෂින්ටනය විසින් අද දැවැන්ත සම්බාධක මාලාවක් පැනවීය. ඉරාන තෙල් ප්‍රවාහන ජාලයට සම්බන්ධ පුද්ගලයන්, සමාගම් සහ නෞකා 24කට අධික සංඛ්‍යාවකට මෙම සම්බාධක පනවා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම ක්‍රියාමාර්ගයේ විශේෂත්වය වන්නේ ඉරානයේ බලවත් ආරක්ෂක සහ න්‍යෂ්ටික උපායමාර්ගිකයෙකු වූ අලි ෂම්කානිගේ පුත් මොහොමඩ් හොසේන් ෂම්කානිට සම්බන්ධ නැව් ව්‍යාපාර ඉලක්ක කිරීමයි. අලි ෂම්කානි යනු මෙම වසරේ මුලදී තෙහෙරාන් නුවරට එල්ල වූ ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය ඉරාන ආරක්ෂක අංශයේ ප්‍රබලතම චරිතයකි.
මෙම සම්බාධක මගින් ඉරාන තෙල් වෙනුවට වෙනිසියුලානු රන් හුවමාරු කර ගනිමින් මුදල් විශුද්ධිකරණය කළ බවට චෝදනා එල්ල වූ ජාලයක් මෙන්ම හිස්බුල්ලා සංවිධානයට මූල්‍ය ආධාර සපයන බවට සැක කෙරෙන ප්‍රධාන මූල්‍යකරුවෙකු ද ඉලක්ක කර ඇත. මුදල් ලැබෙන මාවත් අවහිර කිරීම සහ ඉරාන පාලනයේ අභ්‍යන්තර කවයට සෘජුවම ප්‍රහාර එල්ල කිරීම හරහා පද්ධතිය අභ්‍යන්තරයෙන්ම බිඳ දැමීම ඇමෙරිකාවේ උපායමාර්ගය බව විචාරකයෝ පවසති.
මෙම තීරණය ප්‍රකාශයට පත් වන්නේ ජනාධිපති ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සාම සාකච්ඡා සඳහා අවස්ථාවක් පවතින බව පවසන අතරතුරමය. සාකච්ඡා මේසයේදී ඇමෙරිකාව සතු ශක්තිය සහ ඉරානයට එල්ල කළ හැකි ආර්ථික බලපෑම ප්‍රදර්ශනය කිරීම සඳහා මෙම සම්බාධක යොදා ගනු ඇතැයි සැලකේ. ඉරාන තෙල් කර්මාන්තයට සිදුව ඇති දැවැන්ත හානිය මධ්‍යයේ, මෙම නව සම්බාධක එරට ආර්ථිකයට එල්ල වන තවත් දරුණු පහරක් වනු නිසැකය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














