මැදපෙරදිග පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ වුවද, 2026 පාපන්දු ලෝක කුසලානය සඳහා ඉරාන කණ්ඩායම අනිවාර්යයෙන්ම සහභාගී වන බව FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ (Gianni Infantino) අවධාරණය කරයි. ක්‍රීඩාව සහ දේශපාලනය පටලවා නොගත යුතු බව පවසන ඔහු, ඉරානය නියමිත පරිදි ඇමෙරිකාවේ කැලිෆෝනියා සහ සීඇටල්හිදී සිය තරඟ සඳහා ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාසය පළ කරයි.
ඉරානය සහ ඇමෙරිකාව අතර පවතින සෘජු යුද ගැටුම් හේතුවෙන් සිය ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ඉරාන පාපන්දු සම්මේලනය දැඩි කනස්සල්ලක් පළ කර තිබේ. මේ හේතුවෙන් ඉරානයේ මූලික වටයේ තරඟ ඇමෙරිකාවෙන් බැහැරව මෙක්සිකෝව වෙත ගෙන යන ලෙස ඉරානය කළ ඉල්ලීම FIFA සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇත. මෙක්සිකෝ ජනාධිපතිනිය ද මේ සඳහා සිය එකඟතාවය පළ කර තිබුණද, ලොජිස්ටික් ගැටලු හේතුවෙන් තරඟ පැවැත්වෙන ස්ථාන වෙනස් කළ නොහැකි බව FIFA ස්ථාවරයයි.
ජනාධිපති ට්‍රම්ප් ද මෙම තත්ත්වය පිළිබඳව සිය අදහස් දක්වමින් කියා සිටියේ, වර්තමාන දේශපාලන වාතාවරණය තුළ ඉරාන කණ්ඩායම ඇමෙරිකාවට පැමිණීම ඔවුන්ගේම ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි. ඉරාන කණ්ඩායම පැමිණෙන්නේ නම් ඔවුන්ට උපරිම ආරක්ෂාව ලබා දීමට ඇමෙරිකාව බැඳී සිටින නමුත්, මෙම අවදානම සැලකිල්ලට ගෙන ඉරානය තරඟාවලියෙන් ඉවත් විය යුතු බවට ඔහු ඉඟි කර තිබේ.
මේ අතර ඉරාන ක්‍රීඩා අමාත්‍ය අහමඩ් දොන්යමාලි (Ahmad Donyamali) පවසන්නේ සිය ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සහතික නොවන්නේ නම්, කිසිදු හේතුවක් මත කණ්ඩායම ඇමෙරිකාව වෙත නොයවන බවයි. මේ අනුව ජූනි 11 වනදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලානයට පෙර FIFA, ඇමෙරිකාව සහ ඉරානය අතර මෙම “රාජ්‍යතාන්ත්‍රික සටන” තවදුරටත් උග්‍ර වී තිබේ. ඉරානය තරඟාවලියට සහභාගී නොවන්නේ නම්, ඔවුන්ට එරෙහිව දැඩි මූල්‍ය දඩ සහ ඉදිරි ලෝක කුසලාන තහනමක් පැනවීමේ අවදානමක් ද පවතී.
තොරතුරු උපුටා ගැනීම: Politico, Reuters සහ AFP ඇසුරින්














