ශුද්ධෝත්තම 14 වැනි ලියෝ පාප්තුමා සිය දින 11ක අප්‍රිකානු සංචාරය ආරම්භ කරමින් මේ වන විට කැමරූන් රාජ්‍යයේ සංචාරය කරමින් සිටී. පාප් ධුරයට පත්වීමෙන් පසු උන්වහන්සේ සහභාගී වන දෙවැනි විදේශ සංචාරය මෙය වන අතර, ඇමෙරිකානු ජාතිකයෙකු වන 14 වැනි ලියෝ පාප්තුමා පසුගිය අප්‍රේල් 13 වැනිදා සිය සංචාරය ආරම්භ කළේය.
සංචාරයේ පළමු නැවතුම වූ ඇල්ජීරියාවේදී ජනාධිපති ඇබ්දෙල්මජිද් ටෙබෝන් විසින් උන්වහන්සේ උණුසුම් ලෙස පිළිගනු ලැබීය. එහිදී ශාන්ත ඔගස්ටින් මුනිඳුන් රදගුරු පදවිය දැරූ ඓතිහාසික හිපෝ පුරාවිද්‍යා භූමිය නැරඹීමට ගිය පාප්තුමා, සාමයේ සංකේතයක් ලෙස එහි ඔලීව පැළයක් ද රෝපණය කළේය.
පසුගිය 15 වැනිදා කැමරූන් රාජ්‍යයට පැමිණි පාප්තුමන්ව එරට ජනාධිපති පෝල් බයියා විසින් පිළිගනු ලැබීය. උන්වහන්සේ එළඹෙන 18 වැනිදා තෙක් කැමරූන් රාජ්‍යයේ රැඳී සිටීමට නියමිතය.
අනතුරුව පාප්තුමා ඇන්ගෝලාව බලා පිටත්ව යාමට නියමිත අතර, දින 11ක මෙම අප්‍රිකානු සංචාරය අප්‍රේල් 23 වැනිදා ඉක්වටෝරල් ගිනියාවෙන් අවසන් වීමට නියමිත බව වතිකානය සඳහන් කරයි.














