පොලිසියට මත්ද්‍රව්‍ය ඔත්තු ලබා දුන්නේ යැයි සැක කරමින් හිටපු යුද හමුදා මේජර්වරයෙකුගේ නිවසකට පෙරේදා (15) රාත්‍රී කඩා වැදුණු නාඳුනන පිරිසක් නිවසට ගිනි තබා පලා ගොස් තිබේ. දොඩංගොඩ ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට පෙට්‍රල් රැගෙන පැමිණි ප්‍රහාරකයින් නිවසේ රැඳී සිටි මේජර්වරයාගේ මිතුරෙකුට තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදු කර ඇති අතර, ඔහු මේ වන විට කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ මේජර්වරයා සිය මව ද සමඟ කාමරයක සැඟවී දිවි බේරාගෙන ඇත.
මූලික පොලිස් විමර්ශනවලට අනුව, මෙම අපරාධය මෙහෙයවා ඇත්තේ ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘නවීන්’ නමැත්තා විසිනි. පසුගිය පෙබරවාරි මාසයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් අයිස් (Ice) මත්ද්‍රව්‍ය කිලෝවකට වඩා වැඩි ප්‍රමාණයක් සමඟ නවීන්ගේ ගෝලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, එම වැටලීමට ඔත්තු ලබා දුන්නේ මෙම මේජර්වරයා බවට ජාවාරම්කරුවන් සැක කර තිබේ. මෙම කල්ලිය මීට පෙර ද ඔත්තුකරුවකු යැයි සැක කළ පුද්ගලයෙකුගේ අතක් කපා දමා බරපතළ තුවාල සිදු කර ඇති බවත්, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කළුතර උතුර සහ දකුණ පොලිස් ස්ථාන පුළුල් පරීක්ෂණ පවත්වන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.














