සංචාරක කර්මාන්තය දේශපාලන මෙවලමක් ලෙස භාවිත නොකරන ලෙස තායිවාන ප්‍රවාහන අමාත්‍ය චෙන් ෂි-කායි (Chen Shih-kai) චීනයෙන් ඉල්ලීමක් කර තිබේ. ද්වීපාර්ශ්වික සංචාරක ප්‍රතිපත්ති කාලානුරූපව දේශපාලන බලපෑම් මත වෙනස් වන ආකාරය ඔහු පෙන්වා දී ඇත.
චීනය විසින් මෑතකදී තායිවානය ඉලක්ක කර ගනිමින් ‘දස වැදෑරුම් දිරිගැන්වීමේ වැඩපිළිවෙළක්’ ප්‍රකාශයට පත් කළ අතර අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය එයට ප්‍රතිචාරයක් ලෙස සලකනු ලැබේ. චීනය සිය ගුවන් ගමන් ප්‍රධාන වශයෙන් ෂැංහයි සහ ෆුජියෑන් යන නගරවලට පමණක් සීමා කරමින් තායිවානයට පැමිණෙන සංචාරකයින් පාලනය කිරීමට උත්සාහ කරන බවට අමාත්‍යවරයා චෝදනා කරයි. දැනට සතියකට ගුවන් ගමන් 420ක් ක්‍රියාත්මක කිරීමේ ධාරිතාව පැවතියද, ක්‍රියාත්මක වන්නේ ගුවන් ගමන් 310ක් පමණක් බව ඔහු හෙළි කළේය.
දෙපාර්ශ්වය අතරම ‘සමූහ සංචාර’ තවමත් අත්හිටුවා තිබුණද, තායිවානය විසින් චීනය වෙත ‘ස්වාධීන සංචාරකයින්’ පැමිණීම සඳහා අඛණ්ඩව අවසර ලබා දෙන බව ඔහු සඳහන් කළේය. තායිවාන බලධාරීන් පවසන්නේ තමන් තවදුරටත් චීන සංචාරකයින් මත පමණක් දැඩි ලෙස යැපීමට බලාපොරොත්තු නොවන බවත්, තායිවානයේ සංචාරක ක්ෂේත්‍රය මේ වන විට ස්ථාවරව වර්ධනය වෙමින් පවතින බවත්ය.














