අහංගම, කබලාන දුම්රිය හරස් මාර්ගයේදී අද (අප්‍රේල් 19) පෙරවරුවේ සිදුවූ දරුණු දුම්රිය අනතුරකින් රුසියානු ජාතික තරුණියක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ විශේෂ සීග්‍රගාමී දුම්රියේ, ඇය ගමන් කළ යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය තහවුරු කරයි.
පොලිස් වාර්තාවලට අනුව අනතුර සිදුව ඇත්තේ අද පෙරවරු 9.30 ට පමණ වේ. අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ දුම්රිය හරස් මාර්ගයේ ආලෝක සංඥා පද්ධතිය ක්‍රියාත්මක වෙමින් තිබී ඇති අතර, එය නොතකා යතුරුපැදිය ධාවනය කිරීම අනතුරට හේතුවන්නට ඇතැයි සැක කෙරේ. මියගොස් ඇත්තේ 23 හැවිරිදි වියේ පසුවූ රුසියානු ජාතික සංචාරක කාන්තාවකි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඇය වහාම කොග්ගල දුම්රිය ස්ථානය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබූ අතර, එහිදී 1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ වෛද්‍ය නිලධාරීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඇය ඒ වන විටත් මියගොස් සිටි බව තහවුරු කරන ලදී.
හබරාදුව හදිසි මරණ පරීක්ෂකවරිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පවත්වා ඇති අතර, දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන අතර, මෙරට සංචාරය කරන විදේශිකයන් මාර්ග නීති සහ සංඥා පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු බව පොලිසිය අවධාරණය කරයි.














