පසුගිය අප්‍රේල් 17 වැනිදා සිට දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ඇතුළු සියලුම සේවා කටයුතු තාවකාලිකව නතර කර තිබුණි. මේ හේතුවෙන් හැඳුනුම්පත් ලබා ගැනීමට පැමිණි මහජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටි අතර, තාක්ෂණික නිලධාරීන් විසින් අදාළ දෝෂයන් මේ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
ඒ අනුව, එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ. හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටි පුද්ගලයන්ට අද සිට සුපුරුදු පරිදි දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගත හැකි අතර, පද්ධතිය යාවත්කාලීන කිරීමෙන් පසු සේවාවන් වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට හැකි වනු ඇති බවට ද බලධාරීන් විශ්වාසය පළ කරයි.
පවතින අධික තදබදය වළක්වා ගැනීම සඳහා කලින් වේලාවන් වෙන් කරවා ගත් පුද්ගලයන්ට ප්‍රමුඛතාවය ලබා දීමට ද කටයුතු කෙරෙනු ඇත.














