ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයක් සඳහා ඩොලර් 286ක් ගෙවා ඇති බවට HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා සිදුකළ ප්‍රකාශය විකෘති කිරීමට රජය උත්සාහ කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා චෝදනා කරයි
HSBC ප්‍රධාන විධායක නිලධාරියා අදාළ මිල සඳහන් කළේ ‘පිරිපහදු කළ තෙල්’ (Refined Oil) සඳහා මිස ‘බොරතෙල්’ (Crude Oil) සඳහා නොවන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. යුද්ධය හේතුවෙන් සිදුවූ බලපෑම විශ්ලේෂණය කිරීමට ඔහු එම ප්‍රකාශය කළද, ජාතික ජන බලවේගය ප්‍රමුඛ රජය සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) එය හිතාමතාම වැරදි ලෙස අර්ථකථනය කරමින් HSBC බැංකුවට එරෙහිව නඩු පවරන බවට තර්ජනය කිරීම ලැජ්ජා සහගත බව ඔහු සිය X පණිවිඩයකින් සඳහන් කළේය.
රජය මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන් පවසන්නේ මෙරටට ගෙන්වන බොරතෙල් කිසිවිටෙකත් එවැනි ඉහළ මිලකට මිලදී ගෙන නොමැති බවයි. මැදපෙරදිග අර්බුදයෙන් පසු මෙරටට ලැබුණු බොරතෙල් නැව්ගත කිරීම් බැරලයක් ඩොලර් 71.99 සිට 113.29 දක්වා වූ මිල ගණන් යටතේ ලබාගෙන ඇති බව CPC සභාපතිවරයා මීට පෙර නිවේදනය කළේය.














