ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා සිය දෙදින නිල සංචාරයේ පළමු දිනය වූ ඊයේ (අප්‍රේල් 19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවල නිරත විය.
බලශක්ති සුරක්ෂිතතාව, වරාය සංවර්ධනය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ආයෝජන යන ක්ෂේත්‍රවල සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව දෙරටේ නායකයන්ගේ අවධානය යොමු විය. විශේෂයෙන් ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම සහ ඉන්දියාව – ශ්‍රී ලංකාව සම්බන්ධ කරන තෙල් නල මාර්ගය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් වෙනුවෙන් ඉන්දියාව ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක සහනාධාර පැකේජය යටතේ ක්‍රියාත්මක වන පුනරුත්ථාපන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී සමාලෝචනය කෙරිණි.
ඉන්දීය සහාය ඇතිව මෙරට මලයාහ දමිළ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ තත්ත්වය පිළිබඳව ද සාකච්ඡා විය. රජය විසින් ඉදි කළ නිවාස සංඛ්‍යාව 50,000ක් සම්පූර්ණ වී ඇති අතර තවත් නිවාස 10,000ක් ඉදිවෙමින් පවතී. එමෙන්ම දෙරට අතර පවතින ධීවර ගැටලුව සඳහා දිගුකාලීන සහ තිරසාර විසඳුමක් ලබා ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා අවධාරණය කළහ.
ඉන්දීය උප ජනාධිපතිවරයා අද (20) නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කරමින් එහි ක්‍රියාත්මක වන ඉන්දීය නිවාස ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමට සහ ප්‍රාදේශීය වතු ප්‍රජාව සමඟ සුහද කතාබහක නිරත වීමට නියමිතය.












