පුත්තලම, කොස්වත්ත ප්‍රදේශයේ පැවැති අවුරුදු උත්සවයකදී කඹ ඇදීමේ තරගයකට සහභාගී වෙමින් සිටි 25 හැවිරිදි විවාහක තරුණයෙකු හදිසි හෘදයාබාධයකින් මියයාමේ ශෝචනීය පුවතක් වාර්තා වේ. සතුටින් පිරී තිබූ අවුරුදු පිටියක් නිමේෂයකින් ශෝකී තැනක් බවට පත් කරමින් මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත්තේ කොස්වත්ත, මිගහවෙල ප්‍රදේශයේදීය.
මියගොස් ඇත්තේ මිගහවෙල පදිංචිව සිටි සඳුන් තාරක නැමැති විවාහක තරුණයෙකි. ඔහු පසුගිය 17 වැනිදා මිගහවෙල රජයේ විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති බක්මහ උළෙලට සිය බිරිඳ සමඟ සහභාගී වී දවස පුරා ක්‍රීඩා ඉසව් කිහිපයකටම උද්‍යෝගයෙන් සහභාගී වී තිබේ. කඹ ඇදීමේ තරගයේ අවසන් වටය සඳහා සිය උපරිම ශක්තිය යොදමින් සිටියදී ඔහු හදිසියේම බිම ඇද වැටී ඇති අතර, රෝහල් ගත කරන විටත් මියගොස් සිට ඇත.
මාරවිල මූලික රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.බී.එස්. පීරිස් මහතා නිගමනය කර ඇත්තේ මෙම මරණය හදිසි හෘදයාබාධයක් (Sudden Cardiac Arrest) හේතුවෙන් සිදුව ඇති බවයි. කොස්වත්ත පොලීසියේ නිලධාරීන් සහ මාරවිල රෝහලේ හදිසි මරණ පරීක්ෂකවරයා විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වනු ලැබීය.
පවතින දැඩි උෂ්ණත්වය හමුවේ මෙවැනි අධික වෙහෙසකාරී ක්‍රීඩාවල නිරත වීම පිළිබඳව සෞඛ්‍ය අංශ නිරන්තරයෙන් අවධාරණය කරන අතර, මෙම අකල් මරණය ප්‍රදේශවාසීන් මෙන්ම ක්‍රීඩා ලෝලීන් ද දැඩි කම්පනයට පත් කිරීමට සමත්ව තිබේ.














