බ්‍රිතාන්‍යයේ සන්නිවේදන නියාමන ආයතනය වන Ofcom, ටෙලිග්‍රෑම් (Telegram) සමාජ මාධ්‍ය ජාලය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් අද (21) ආරම්භ කළේය. ළමා ලිංගික අපයෝජන දර්ශන එම වේදිකාව හරහා හුවමාරු වන බවට සහ බාලවයස්කරුවන් ඉලක්ක කරගනිමින් ලිංගික අපරාධකරුවන් (Predators) එහි සැරිසරන බවට ලැබුණු සාක්ෂි මීට හේතු වී තිබේ.
ටෙලිග්‍රෑම් ජාලයට අමතරව ‘Teen Chat’ සහ ‘Chat Avenue’ යන වෙබ් අඩවි සම්බන්ධයෙන් ද පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, දරුවන් අපයෝජනයට ලක්වීම වැළැක්වීම සඳහා අදාළ ආයතන නිසි පියවර ගෙන තිබේද යන්න මෙහිදී විමර්ශනය කෙරේ. සබැඳි ආරක්ෂණ නීති (Online Safety laws) උල්ලංඝනය කර ඇති බවට තහවුරු වුවහොත් මෙම සමාගම්වලට දැඩි දඩ මුදල් ගෙවීමට හෝ සේවාවන් අත්හිටුවීමට සිදුවනු ඇත. දරුවන්ගේ අන්තර්ජාල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගෝලීය වශයෙන් තාක්ෂණික සමාගම් වෙත එල්ල වන පීඩනය මෙලෙස තවදුරටත් දැඩි වී තිබේ.














