යුක්‍රේනයේ කිලීව් අගනුවර සුපිරි වෙළෙඳසැලක පසුගිය සෙනසුරාදා පුද්ගලයින් හත් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ පුවතත් සමඟ, ස්වයං ආරක්ෂාව සඳහා අත් තුවක්කු (Handguns) භාවිත කිරීමට සහ ළඟ තබා ගැනීමට ඇති නීති ලිහිල් කළ යුතු බවට එරට තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. රුසියාව සමඟ පවතින දීර්ඝකාලීන යුද්ධය හේතුවෙන් පීඩාවට පත්ව සිටින යුක්‍රේන වැසියන් බොහෝ දෙනෙකු පවසන්නේ, තමන් සතුව අවි පවතින්නේ නම් මෙවැනි ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීමට අවස්ථාව ලැබෙන බවයි.
යුක්‍රේන හමුදාවේ ඉහළ නිලධාරියෙකු වන මැක්සිම් ෂොරින් (Maksym Zhorin) ප්‍රකාශ කර ඇත්තේ, මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට මුහුණ දුන් සිවිල් වැසියන් සතුව අවි පැවතියේ නම් මෙතරම් විශාල ජීවිත හානියක් සිදු නොවන බවයි. දැනට පවතින නීතියට අනුව යුක්‍රේන සිවිල් වැසියන්ට ගිනි අවි ළඟ තබා ගැනීමට අවසර නොමැති වුවද, 2022 රුසියානු ආක්‍රමණය ආරම්භයේදී හදිසි අවශ්‍යතාවයක් ලෙස ආරක්ෂක අංශ විසින් සිවිල් වැසියන්ට අවි ලබා දී තිබුණි. මෙම ඛේදවාචකයත් සමඟ, සිවිල් ගිනි අවි භාවිතය නියාමනය කිරීම සඳහා වූ නව පනත් කෙටුම්පතක් පිළිබඳව එරට පාර්ලිමේන්තුවේ අවධානය යොමු වී ඇතත්, අවි භාවිතය ලිහිල් කිරීම මගින් තවත් අපරාධ රැල්ලක් ඇති විය හැකි බවට විවේචකයෝ අනතුරු අඟවති.














