ඇමෙරිකානු වරායන් අතර ඉන්ධන සහ අනෙකුත් භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී විදේශීය නැව් සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කෙරෙන ‘Jones Act’ බදු සහනය තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇති බව ‘Axios’ පුවත් සේවය වාර්තා කරයි. ඉරාන යුද්ධය හේතුවෙන් ඉහළ ගොස් ඇති ඉන්ධන මිල පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
ඉරාන යුධමය තත්ත්වයත් සමඟ මාර්තු 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි දින 60ක කාලසීමාවක් සඳහා මෙම සහනය ප්‍රදානය කර තිබුණි. ඒ අනුව, ඇමෙරිකානු Gulf Coast කලාපයේ සිට අනෙකුත් වෙරළබඩ වෙළෙඳපොළ වෙත ඉන්ධන ප්‍රවාහනය කඩිනම් කිරීමට විදේශීය නැව්වලට අවස්ථාව ලැබුණි. මෙම කාලසීමාව මැයි 17 වනදායින් අවසන් වීමට නියමිතව ඇති අතර, පවතින බලශක්ති අර්බුදය සලකා එය තවදුරටත් දීර්ඝ කිරීම පිළිබඳව ඇමෙරිකානු බලධාරීන් මේ වන විට සාකච්ඡා කරමින් සිටී. මෙම පියවර හරහා ඇමෙරිකානු වෙළෙඳපොළ තුළ ඉන්ධන සැපයුම ස්ථාවර කර ගැනීමට හැකි වනු ඇතැයි රජය බලාපොරොත්තු වේ.














