ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ පවතින සටන් විරාමය දින නියමයකින් තොරව දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව අද (අප්‍රේල් 22) වාර්තා වේ. මාස දෙකක් පුරා පැවති මෙම දරුණු යුද්ධය නතර කිරීම සඳහා පකිස්ථානය මැදිහත් වී පවත්වනු ලබන සාම සාකච්ඡා සඳහා ඉඩ ප්‍රස්ථා ලබා දීම මෙහි අරමුණයි.
පකිස්ථාන මැදිහත්කරුවන්ගේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බව ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහන් කර තිබේ. ඉරාන නායකයන් සහ නියෝජිතයන් ඒකාබද්ධ යෝජනාවලියක් ඉදිරිපත් කරන තෙක් ඇමෙරිකානු ප්‍රහාරයන් තාවකාලිකව නතර කර තබන බව ඔහු එහි සඳහන් කර ඇත. කෙසේ වෙතත්, මෙම සටන් විරාමයට ඉරානය හෝ ඇමෙරිකාවේ මිත්‍ර පාර්ශවය වන ඉස්රායලය එකඟ වන්නේ ද යන්න තවමත් පැහැදිලි නැත.
සටන් විරාමය දීර්ඝ කළද, ඉරාන වරායන් අවහිර කරමින් ඇමෙරිකානු නාවික හමුදාව ක්‍රියාත්මක කරන සම්බාධක දිගටම පවතින බව ට්‍රම්ප් අවධාරණය කර තිබේ. මෙය යුධමය ක්‍රියාවක් ලෙස ඉරානය සලකන අතර, ඉරාන විදේශ අමාත්‍යාංශය ඇමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය “මුහුදු කොල්ලකෑමක්” ලෙස හඳුන්වා දී ඇත.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ආරම්භ වූ මෙම යුද්ධය හේතුවෙන් ඉරානය සහ ලෙබනනය ඇතුළු කලාපයේ සිවිල් වැසියන් 3,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර ලක්ෂ සංඛ්‍යාත පිරිසක් අවතැන් වී ඇත. හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගොස් ඇති අතර, ගෝලීය ආර්ථිකය දැඩි අවදියකට පත්ව තිබේ.














