තම කෘතිම බුද්ධි (AI) මාදිලි පුහුණු කිරීම සඳහා සේවකයන් පරිගණක භාවිත කරන ආකාරය, එනම් ඔවුන්ගේ මවුස් ක්ලික් කිරීම් (mouse clicks) සහ යතුරුපුවරු භාවිතය (keystrokes) නිරීක්ෂණය කිරීමට Meta සමාගම තීරණය කර ඇත. ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් හිමිකාරීත්වය දරන මෙම සමාගම පවසන්නේ පරිගණක මඟින් එදිනෙදා කාර්යයන් ඉටු කර ගැනීමට සහාය වන AI නියෝජිතයන් (agents) නිර්මාණය කිරීම සඳහා මෙවැනි සැබෑ උදාහරණ අවශ්‍ය වන බවයි.
මෙම නව වැඩපිළිවෙළ “Model Capability Initiative” (MCI) ලෙස හඳුන්වන අතර, මේ සඳහා යොදාගන්නා දත්ත වෙනත් කිසිදු කාර්යයක් සඳහා භාවිත නොකරන බව Meta ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, මෙම තීරණය පිළිබඳව සේවකයන් අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබේ. රැකියා කප්පාදු පිළිබඳ බියක් පවතින පසුබිමක මෙවැනි දැඩි නිරීක්ෂණ පද්ධතියක් හඳුන්වා දීම අනුචිත බව ඔවුන්ගේ අදහසයි.
Meta සමාගම 2026 වසරේදී AI ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 140ක් පමණ ආයෝජනය කිරීමට සැලසුම් කර ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයක වැඩි වීමකි. මාර්ක් සකර්බර්ග් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ 2026 වසර AI තාක්ෂණය මඟින් මිනිසුන් වැඩ කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් කරන වසරක් වනු ඇති බවයි. මේ අතර Meta සමාගමේ රැකියා වෙබ් අඩවියේ මීට පෙර තිබූ සිය ගණනක් වූ රැකියා ඇබෑර්තු ප්‍රමාණය මේ වන විට 7ක් දක්වා ඉතා විශාල ලෙස අඩු වී ඇති බව ද වාර්තා වේ.














