ලොව සුප්‍රසිද්ධ BTS කණ්ඩායම නිර්මාණය කළ K-pop දැවැන්තයෙකු වන බැං සි-හ්‍යුක් (Bang Si-hyuk) අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙස දකුණු කොරියානු පොලිසිය එරට අභිචෝදකයන්ගෙන් ඉල්ලා තිබේ. වසර ගණනාවක සිට පවතින මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම පියවර ගෙන ඇති බව අද වාර්තා වේ.
ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ සිය “Hybe” සමාගම 2020 වසරේදී කොටස් වෙළෙඳපොළට ලැයිස්තුගත කිරීමට පෙර ආයෝජකයන් නොමඟ යවා ඇති බවයි. සමාගම ලැයිස්තුගත කිරීමේ සූදානමක් නොමැති බව පවසමින් රහසිගතව ඒ සඳහා කටයුතු කිරීම හරහා ඔහු වොන් බිලියන 200ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 136ක) අයුතු ලාභයක් ලබා ඇති බවට පොලිසිය සැක කරයි. මෙම විමර්ශන හේතුවෙන් පසුගිය අගෝස්තු මාසයේ සිට ඔහුට විදේශගත වීම ද තහනම් කර ඇත.
බැං සි-හ්‍යුක් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර සියලු කටයුතු නීත්‍යානුකූලව සිදු කළ බව ඔහු පවසයි. දකුණු කොරියානු නීතියට අනුව මෙවැනි මූල්‍ය වංචාවකට වැරදිකරු වුවහොත් වසර පහක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම විය හැකිය. මෙම පුවතත් සමඟ Hybe සමාගමේ කොටස් මිල 2.3% කින් පහත වැටී ඇති අතර අනෙකුත් K-pop සමාගම්වල කොටස් කෙරෙහි ද මෙහි බලපෑම එල්ල වී තිබේ.
මෙම අර්බුදය නිර්මාණය වී ඇත්තේ වසර හතරක විරාමයකින් පසු BTS කණ්ඩායම සිය ලෝක සංචාරය ආරම්භ කර සති කිහිපයකට පසුව වීම විශේෂත්වයකි. මෙම සංචාරයෙන් පමණක් සමාගම ඩොලර් බිලියනයකට අධික ආදායමක් අපේක්ෂා කරන පසුබිමක එහි ප්‍රධානියාට එල්ල වී ඇති මෙම නීතිමය අභියෝගය K-pop ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව ඇත.














