දකුණු කොරියාවේ විද්‍යා හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන ‘2026 ලෝක තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනය’ (World IT Show) ඊයේ (21) සෝල් නුවර COEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී උත්කර්ෂවත් අයුරින් ආරම්භ විය. රටවල් 17ක සමාගම් සහ ආයතන 460ක් පමණ සිය නවතම නිපැයුම් සමඟ මීට එක්ව සිටින අතර ප්‍රදර්ශනය අප්‍රේල් 24 දක්වා පැවැත්වේ.
මෙවර ප්‍රදර්ශනය “Beyond thought to action: Artificial intelligence (AI), moving reality” යන තේමාව යටතේ පැවැත්වෙන අතර, කෘතිම බුද්ධිය (AI) භෞතික ලෝකය සමඟ ඒකාබද්ධ වන ආකාරය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත. ඒ සඳහා Award Tech, Global, Enter Tech සහ K-AI අර්ධ සන්නායක පරිසර පද්ධති ලෙස නව විශේෂ කලාප හතරක් හඳුන්වා දී තිබේ.
මෙහිදී පැවැති සම්මාන උළෙලේදී ‘Gaudio Lab’ සමාගම ජනාධිපති සම්මානය දිනාගත් අතර, ඔවුන් AI තාක්ෂණය භාවිතයෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණවල හඬකැවීම් සහ උපසිරැසි ගැන්වීමේ ක්‍රියාවලිය ස්වයංක්‍රීය කරන මෘදුකාංගයක් හඳුන්වා දී තිබුණි. නීතිඥයන්ගේ කාර්යක්ෂමතාව වැඩිකරන AI චැට්බෝට් සේවාවක් හඳුන්වා දුන් ‘Law&Company’ ආයතනය අග්‍රාමාත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. මීට අමතරව සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් ඇතුළු සමාගම් කිහිපයක් ද විවිධ තාක්ෂණික නිපැයුම් වෙනුවෙන් සම්මානයට පාත්‍ර විය.
ප්‍රදර්ශනයට සමගාමීව ගෝලීය තොරතුරු තාක්ෂණ සමුළුවක් ද පැවැත්වෙන අතර සැම්සුන් සහ LG වැනි ප්‍රධාන සමාගම්වල විධායක නිලධාරීන් එහිදී දේශන පවත්වනු ලබයි. බ්‍රිතාන්‍යය, චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් 14ක විදේශීය ගැනුම්කරුවන් 50කට අධික පිරිසක් ආයෝජන සහ අපනයන අවස්ථා පිළිබඳ සාකච්ඡා සඳහා එක්ව සිටිති.














