මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ යුරෝපය පුරා ගුවන් යානා ඉන්ධන (Jet Fuel) හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබේ. මේ හේතුවෙන් මැදපෙරදිගින් සිදුකරන ආනයන වෙනුවට ඇමෙරිකා එක්සත් ජනපදය සහ නයිජීරියාව වැනි විකල්ප මූලාශ්‍රවලින් ඉන්ධන ලබාගැනීමට යුරෝපා ප්‍රවාහන අමාත්‍යවරුන්ගේ අවධානය යොමුව ඇති බව යුරෝපා ප්‍රවාහන කොමසාරිස් අපොස්ටොලොස් ටීසිකොස්ටාස් මහතා ප්‍රකාශ කළේය.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් පසු, ගෝලීය තෙල් සහ ගෑස් සැපයුමෙන් 20%ක් රැගෙන යන හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීම මෙම සැපයුම් අඩාල වීමට ප්‍රධාන හේතුව වී ඇත. සාමාන්‍යයෙන් යුරෝපා සංගමයේ ගුවන් යානා ඉන්ධන අවශ්‍යතාවයෙන් 30%ක් පමණ ආනයනය කරනු ලබන්නේ මැදපෙරදිග කලාපයෙනි.
ඉන්ධන හිඟය හේතුවෙන් ගුවන් ගමන් වාර අවලංගු වීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය සහ ප්‍රධාන ගුවන් සමාගම් අනතුරු අඟවා තිබේ. කෙසේ වෙතත්, යුරෝපා කොමිසම පවසන්නේ දැනට පවතින ගුවන් ගමන් අවලංගු වීම්වලට හේතුව ඉන්ධන හිඟය නොව ගුවන් සමාගම්වල ලාභදායීතාවය පිළිබඳ ගැටලු බවයි.
ගොඩනැගී ඇති තත්ත්වය හමුවේ ජර්මනිය ජාතික ආරක්ෂක මණ්ඩලය කැඳවා ඇති අතර, ස්පාඤ්ඤය යුරෝපා සංගමය තුළ ඉන්ධන බෙදාගැනීමේ (Jet fuel sharing) ගිවිසුමකට සහය පළ කර ඇත. අවශ්‍ය වුවහොත් හදිසි ඉන්ධන තොග භාවිත කිරීමට ද බලධාරීන් සූදානමින් පසුවේ.














