චීනය යනු ලෝකයේ කර්මාන්තශාලාව ලෙස කලක් හැඳින්වුවද, වර්තමානය වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙමින් පවතී. අඩු පිරිවැය නිෂ්පාදනවල සිට ලෝකයම හඳුනන සුප්‍රසිද්ධ පාරිභෝගික සන්නාම දක්වා චීන සමාගම් සිය ගෝලීය ගමන ආරම්භ කර තිබේ. සිංගප්පූරුවේ සිට සිඩ්නි, ලන්ඩන් සහ ලොස් ඇන්ජලීස් දක්වා නගරවල චීන තේ සන්නාම, ක්‍රීඩා ඇඳුම් සහ විදුලි මෝටර් රථ සඳහා පවතින ඉල්ලුම මෙයට හොඳම උදාහරණයකි.
Mixue, Chagee සහ Molly Tea වැනි තේ දාමයන් ලොව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අතර Mixue ආයතනයට මේ වන විට මැක්ඩොනල්ඩ්ස් සහ ස්ටාර්බක්ස් ආයතනවලට වඩා වැඩි අලෙවිසැල් ප්‍රමාණයක් තිබීම විශේෂත්වයකි. මිනීසෝ සමාගම ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක සිය වෙළෙඳසැල් පවත්වාගෙන යන අතර ඩිස්නි සහ මාර්වල් වැනි ජාත්‍යන්තර සන්නාම සමඟ ඇති කරගත් ගිවිසුම් ඔවුන්ගේ සාර්ථකත්වයට හේතු වී ඇත. ඇන්ටා සන්නාමය මේ වන විට නයික් සහ ඇඩීඩාස් වලට පසුව ලොව තෙවැනි විශාලතම ක්‍රීඩා ඇඳුම් සන්නාමය බවට පත්ව ඇති අතර ඔවුන් ලොව පුරා අලෙවිසැල් 13,000ක් පමණ පවත්වාගෙන යයි. එසේම BYD සමාගම ටෙස්ලා අභිබවා යමින් ලොව විශාලතම විදුලි වාහන නිෂ්පාදකයා බවට පත්ව තිබේ.
අතීතයේදී චීන නිෂ්පාදන යන්න ලාභදායී සහ ගුණාත්මකභාවයෙන් අඩු භාණ්ඩ ලෙස හැඳින්වුවද, නව පරපුරේ පාරිභෝගිකයන් අතර එම මතය වෙනස් වී ඇත. චීන නිෂ්පාදන දැන් නවීන තාක්ෂණයෙන් සහ උසස් නිමාවෙන් යුක්ත වීම මීට හේතුවයි. යුරෝපය සහ ඇමෙරිකාව වැනි රටවල් චීන රජය සිය සමාගම්වලට ලබා දෙන සහනාධාර විවේචනය කළද, චීනය පවසන්නේ මෙය තම කාර්මික ශක්තිය සහ නවෝත්පාදනයේ ප්‍රතිඵලයක් බවයි. චීනයේ අභ්‍යන්තර වෙළෙඳපොළ තුළ පවතින දැඩි තරඟකාරිත්වය හේතුවෙන් මෙවැනි සමාගම්වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ දිනා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇත.














