ජර්මනියේ සිටින සිරියානු සරණාගතයන්ගේ පදිංචි සහතික (Residency documents) වංචනික ලෙස භාවිත කරමින් සිය රටවැසියන් ජර්මනියට ගෙන්වා ගැනීමේ මහා පරිමාණ ජාවාරමක් මැඬපැවැත්වීම සඳහා ජර්මන් පොලිසිය ඊයේ (21) දැවැන්ත මෙහෙයුමක් දියත් කළේය.
ජර්මනියේ ලයිප්සිග් (Leipzig) නගරය සහ ඒ අවට පිහිටි නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 50කට අධික සංඛ්‍යාවක් පරීක්ෂා කිරීම සඳහා පොලිස් නිලධාරීන් 1,000කට ආසන්න පිරිසක් යොදවා තිබුණි.
මෙම ජාවාරම ක්‍රියාත්මක වී ඇත්තේ ජර්මනියේ වෙසෙන සිරියානු සරණාගතයන්ට නිකුත් කර ඇති නීත්‍යානුකූල පදිංචි සහතික, ඔවුන්ට සමාන පෙනුමක් ඇති සිරියාවේ සිටින පුද්ගලයන් වෙත යැවීම හරහාය. ඒ හරහා එම පුද්ගලයන්ට වංචනික ලෙස ජර්මනියට ඇතුළු වීමට අවස්ථාව සලසා දී තිබේ.
මෙම වැටලීමේදී ප්‍රධාන වශයෙන් සැක කෙරුණේ සිය පදිංචි සහතික මෙම ජාවාරම සඳහා ලබා දුන් පුද්ගලයන් සහ අනීතික ලෙස පුද්ගලයන් ජර්මනියට ඇතුළු කර ගැනීමට ආධාර අනුබල දුන් පිරිස පිළිබඳවයි. මෙම මෙහෙයුම ජර්මනියේ නීතිවිරෝධී සංක්‍රමණ මැඬපැවැත්වීමේ පියවරක් ලෙස සැලකේ.














