බිට්කොයින් (Bitcoin) නිර්මාතෘවරයා ලෙස සැලකෙන, මෙතෙක් අභිරහසක්ව පවතින සතෝෂි නකමොටෝගේ (Satoshi Nakamoto) අනන්‍යතාවය හෙළිදරව් කිරීම අරමුණු කරගත් ‘Finding Satoshi’ නම් වාර්තා චිත්‍රපටය අප්‍රේල් 22 වැනිදා (හෙට) නිකුත් කිරීමට නියමිතය. දීර්ඝ කාලීන ගවේෂණාත්මක වාර්තාකරණයකින් සහ තාක්ෂණික විශ්ලේෂණයකින් පසු සිය කණ්ඩායම නිශ්චිත නිගමනයකට පැමිණ ඇති බව මෙහි නිෂ්පාදකවරු පවසති.
මෙම නිර්මාණය හුදෙක් පුද්ගලයෙකු සෙවීමට පමණක් සීමා නොවී, බිට්කොයින් නිර්මාණය කිරීමට හේතු වූ සමාජීය පසුබිම සහ එහි නිර්මාණකරු හදිසියේ අතුරුදන් වීමට බලපෑ හේතු පිළිබඳව ද ගැඹුරින් විමසා බලයි. අධ්‍යක්ෂ ටකර් ටූලි (Tucker Tooley) පවසන්නේ බිට්කොයින් පිටුපස ඇත්තේ හුදු තාක්ෂණයක් පමණක් නොව මිනිසෙකුගේ චින්තනයක් බවයි.
මෙම පරීක්ෂණයේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ මුල්කාලීන බිට්කොයින් සංවර්ධනයට දායක වූ ගුප්ත ලේඛන ශිල්පීන් (Cryptographers), ගණිතඥයන් සහ ‘සයිෆර්පන්ක්’ (Cypherpunk) ක්‍රියාකාරීන් පිළිබඳවයි. පෞද්ගලික රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීම සඳහා මෙවලමක් ලෙස බිට්කොයින් ආරම්භ වූ ආකාරය මෙහිදී විග්‍රහ කෙරේ.
සතෝෂි නකමොටෝ සතුව මේ වන විට බිට්කොයින් මිලියන 1.1ක් පමණ පවතින බව ඇස්තමේන්තු කර ඇති අතර, එම බිට්කොයින් ප්‍රමාණය ආරම්භයේ සිට මේ දක්වා කිසිදු ගනුදෙනුවකට භාවිත කර නොමැත. ඔහුගේ අනන්‍යතාවය හෙළිවීම ගෝලීය ක්‍රිප්ටෝ වෙළඳපොළට සහ එහි මනෝවිද්‍යාවට ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි බැවින් මෙය ඉතා සංවේදී මාතෘකාවක් වී තිබේ.
අද (22) සිට findingsatoshi.com නිල වෙබ් අඩවිය හරහා මෙම වාර්තා චිත්‍රපටය නැරඹීමට ලෝකවාසීන්ට අවස්ථාව හිමි වේ.














