පසුගිය නොවැම්බර් මාසයේදී හොංකොං ඉතිහාසයේ සිදු වූ දරුණුතම ගිනි අනතුරෙන් පසුව, එහි වින්දිතයන්ට සිය නිවෙස් වෙත ගොස් ඉතිරි වී ඇති දෑ ලබා ගැනීමට බලධාරීන් ප්‍රථම වරට අවසර ලබා දී තිබේ. ‘වං ෆුක් කෝර්ට්’ (Wang Fuk Court) නිවාස සංකීර්ණයේ ජීවත් වූ 34 හැවිරිදි ඩෝර්ස් චියුන්ග් (Dorz Cheung) සිය පිළිස්සී ගිය නිවසට ඇතුළු වූ මොහොතේ ඇති වූ කම්පනය විදෙස් මාධ්‍ය වෙත මෙසේ විස්තර කළේය
තම නිවස දැඩි ලෙස පිළිස්සී තිබුණ ද, තමාට ඉතා සමීප මතකයන් කිහිපයක් බේරා ගැනීමට චියුන්ග් සමත් විය. ඔහු දිනාගත් ධාවන තරඟ පදක්කම්, පවුලේ පැරණි ඡායාරූප සහ බයිබලය පිළිබඳ තම මිත්තණිය විසින් වසර 50ක් තිස්සේ ලියන ලද සටහන් පොත් (Journals) ඒ අතර විය. “කුස්සිය දුටු සැනින් මට ඇති වූයේ හුස්ම හිරවන ගතියක්,” යැයි පවසන ඔහු, තමා තුළ කෝපය සහ ශෝකය අතර දෝලනය වන හැඟීමක් පවතින බව සඳහන් කළේය.
මහල් නිවාස හතක් පුරා පැතිර ගිය මෙම මහා ගින්නෙන් පුද්ගලයන් 168 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. මෙය 2017 වසරේ ලන්ඩනයේ සිදුවූ ග්‍රෙන්ෆෙල් ටවර් (Grenfell Tower) අනතුර ද අභිබවා ගිය මහා විනාශයක් ලෙස සැලකේ. අනතුර සිදු වූ අවස්ථාවේ චියුන්ග් රැකියාව සඳහා නිවසින් බැහැරව සිටීම නිසා ඔහුගේ ජීවිතය බේරී තිබුණි.
සියල්ල අහිමි වුවද, හමුවූ සුළු වටිනා දෑ තුළින් ජීවිතය නැවත ගොඩනැගීමට ඔහු උත්සාහ කරයි. මෙම ඛේදවාචකය තමා තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි ඔහු විශ්වාස කරයි. රජයේ අධීක්ෂණය යටතේ අනෙකුත් පවුල්වලට ද මේ දිනවල සිය නිවෙස්වලට ඇතුළු වීමට අවස්ථාව ලබා දී ඇත.














