ඇමෙරිකානු මැදිහත්වීම මත ඇති කරගත් දස දින සටන් විරාමය ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, ඊශ්‍රායල හමුදා සටන් විරාම කොන්දේසි උල්ලංඝනය කරන බවට චෝදනා කරමින් හිස්බුල්ලා (Hezbollah) සංවිධානය ඊයේ (අඟහරුවාදා) උතුරු ඊශ්‍රායලය වෙත රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබේ.
ඊශ්‍රායල හමුදා ලෙබනනයේ සිවිල් වැසියන්ට පහර දෙන බවත් නිවාස විනාශ කරමින් සටන් විරාමය උල්ලංඝනය කරන බවත් හිස්බුල්ලා සංවිධානය පවසයි. මේ අතර, ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළේ දකුණු ලෙබනනයේ ක්‍රියාන්විතවල යෙදී සිටින සිය සෙබළුන්ට හිස්බුල්ලා සංවිධානය ප්‍රහාර එල්ල කළ බවත්, එය සටන් විරාම ගිවිසුම “අමු අමුවේ උල්ලංඝනය කිරීමක්” බවත්ය.
සටන් විරාමය ප්‍රකාශයට පත් කළද, ඊශ්‍රායල හමුදා තවමත් ලෙබනන් දේශසීමාවේ සිට කිලෝමීටර් 5ක් හෝ 10ක් ඇතුළත රැඳී සිටිති. උතුරු ඊශ්‍රායලයට එල්ල වන තර්ජන වැළැක්වීම සඳහා මෙම ආරක්ෂිත කලාපය පවත්වාගෙන යන බව ඊශ්‍රායලය පවසන අතර, ඊශ්‍රායල හමුදා එහි රැඳී සිටින්නේ නම් දිනපතාම විරෝධතාවලට සහ ප්‍රතිප්‍රහාරවලට මුහුණ දීමට සිදුවනු ඇති බව ලෙබනන් කථානායක නබී බෙරී (Nabih Berri) අනතුරු අඟවා ඇත.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය කැට්ස් (Katz) සඳහන් කළේ ලෙබනන් රජය විසින් හිස්බුල්ලා සංවිධානය නිරායුධ කිරීමට පියවර නොගන්නේ නම්, ඒ සඳහා ඊශ්‍රායල හමුදාව මැදිහත් වන බවයි. හිස්බුල්ලා ප්‍රහාරයෙන් පසුව, එම රොකට් එල්ල කළ ස්ථානයට ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර එය විනාශ කර තිබේ.
මෙම ගැටුම්කාරී තත්ත්වය වාර්තා වන්නේ සටන් විරාමය ස්ථිර කර ගැනීම සඳහා ලෙබනන් සහ ඊශ්‍රායල රජයන් අතර ඇමෙරිකානු මැදිහත්වීමෙන් පැවැත්වීමට නියමිත සාකච්ඡාවලට දින කිහිපයක් තිබියදීය.














