සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට අනුබද්ධ හාර්මන් ආයතනය හුදෙක් ශ්‍රව්‍ය උපකරණ විශේෂඥයෙකුගේ භූමිකාවෙන් මිදී ලොව ප්‍රමුඛතම මෝටර් රථ ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදකයෙකු ලෙස විශාල වර්ධනයක් අත්කරගෙන ඇති බව සැම්සුන් සමාගම ඊයේ නිවේදනය කළේය. 2025 වසරේදී හාර්මන් ආයතනය වෝන් ට්‍රිලියන 15.78ක වාර්තාගත අලෙවියක් සහ වෝන් ට්‍රිලියන 1.53ක මෙහෙයුම් ලාභයක් ලබා ඇති අතර මෙය සැම්සුන් සමාගම විසින් හාර්මන් ආයතනය අත්පත් කරගත් 2017 වසරේ පැවති ආදායමට වඩා දෙගුණයකටත් වඩා වැඩි වර්ධනයකි. දැනට හාර්මන්හි මුළු ආදායමෙන් සියයට 65ත් 70ත් අතර ප්‍රමාණයක් ලැබෙන්නේ මෝටර් රථ ඉලෙක්ට්‍රොනික අංශයෙන් වීම විශේෂත්වයකි.
හාර්මන් ආයතනය සිය ව්‍යාපාරික ජාලය ශක්තිමත් කිරීම සඳහා මෑතකදී දැවැන්ත ආයෝජන කිහිපයක් සිදු කර ඇති අතර ඒ අනුව 2025 මැයි මාසයේදී Bowers & Wilkins සහ Denon වැනි සන්නාමයන් හිමි Masimo සමාගමේ ශ්‍රව්‍ය අංශය ඩොලර් මිලියන 350කට දෙසැම්බර් මාසයේදී ජර්මනියේ ZF සමාගමේ උසස් රියදුරු සහායක පද්ධති අංශය යුරෝ බිලියන 1.5කට ද මිලදී ගැනීමට පියවර ගත්තේය. සැම්සුන් සමාගමේ 5G සන්නිවේදන තාක්ෂණය සහ SmartThings පද්ධතිය හාර්මන්හි මෝටර් රථ විසඳුම් සමඟ ඒකාබද්ධ කිරීම හරහා “connected-car” තාක්ෂණයේ පෙරළියක් සිදු කිරීමට ඔවුන් සමත්ව ඇති අතර හාර්මන් සතු වසර 80ක ශ්‍රව්‍ය තාක්ෂණික අත්දැකීම් දැන් සැම්සුන් රූපවාහිනී සහ ජංගම දුරකථන සඳහා ද යොදා ගැනේ. 2030 වසර වන විට වාර්ෂික ආදායම ඩොලර් බිලියන 20 සීමාව ඉක්මවා යමින් ලොව අංක එකේ මෝටර් රථ ඉලෙක්ට්‍රොනික සහ ශ්‍රව්‍ය උපකරණ සමාගම බවට පත්වීම සැම්සුන් සමාගමේ අරමුණ වන අතර මෝටර් රථ ක්ෂේත්‍රය මෘදුකාංග මත පදනම් වූ වාහන දෙසට වේගයෙන් යොමුවන පසුබිමක හාර්මන් ආයතනය සතු මෙම නව තාක්ෂණික පද්ධතීන් අනාගත මෝටර් රථ නිෂ්පාදනයේ තීරණාත්මක සාධකයක් වනු ඇතැයි විචාරකයෝ පවසති.














