ප්‍රකට කතුවරයෙකු සහ හඳුනානොගත් පියාසර වස්තූන් (UFO) පිළිබඳ විශේෂඥයෙකු වන ඩේවිඩ් විල්කොක් (David Wilcock) අභාවප්‍රාප්ත වී ඇති බව අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභික ඇනා පෝලිනා ලූනා (Anna Paulina Luna) විසින් සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබේ. කෙසේ වෙතත්, බලධාරීන් විසින් මේ දක්වා ඔහුගේ මරණය නිල වශයෙන් තහවුරු කර නොමැති වීම විශේෂත්වයකි.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මන්ත්‍රීවරියක වන ඇනා පෝලිනා ලූනා X (ට්විටර්) පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ “ඩේවිඩ් විල්කොක්ගේ හදිසි වියෝව පිළිබඳව අප දැනගත්තා. ඔහුගේ පවුලේ අයට සහ ඔහු බලපෑම් කළ ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් අපි යාච්ඤා කරනවා,” යනුවෙනි. ඇය එම පණිවිඩය අවසානයේ බයිබලයේ ජෝන් 8:32 වගන්තිය ද සඳහන් කර තිබුණි.
පසුගිය අප්‍රේල් 20 වැනිදා බෝල්ඩර් ප්‍රාන්තයේ (Boulder County) නෙදර්ලන්ඩ් නගරය ආසන්නයේ රිජ් පාරේ (Ridge Road) සිදුවූ මරණයක් පිළිබඳව එරට ෂෙරිෆ් කාර්යාලය පරීක්ෂණ ආරම්භ කර තිබුණි. විල්කොක්ගේ නිවස පිහිටා ඇත්තේ ද මෙම ප්‍රදේශයේමය. ෂෙරිෆ් කාර්යාලයේ නිවේදනයට අනුව, මානසික පීඩාවකින් පසුවූ පිරිමි පුද්ගලයෙකු තම නිවසින් පිටත ගිනි අවියක් අතැතිව සිටින බවට පෙරවරු 10:44ට පමණ 911 හදිසි ඇමතුමක් ලැබී තිබේ.
මෙම සිද්ධියෙන් මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න වෛද්‍ය පරීක්ෂකවරුන් විසින් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැත. සාමාන්‍යයෙන් මරණ පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් අනන්‍යතාවය හෙළි නොකිරීම එරට සම්ප්‍රදායයි. කෙසේ වෙතත්, මන්ත්‍රීවරියගේ ප්‍රකාශයත් සමඟ ඩේවිඩ් විල්කොක්ගේ රසිකයන් අතර විශාල කම්පනයක් සහ ඒ පිළිබඳව දැඩි සංවාදයක් නිර්මාණය වී තිබේ.
ඩේවිඩ් විල්කොක් යනු පුරාණ ශිෂ්ටාචාර, විද්‍යාව සහ UFO පිළිබඳ ග්‍රන්ථ රැසක් රචනා කළ, ලොව පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ අයෙකි.














