බ්‍රිතාන්‍යයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන මට්ටමේ ප්‍රබල සයිබර් ප්‍රහාර බහුතරයක් පිටුපස විදේශ රජයන් සම්බන්ධ හැකර්වරුන් සිටින බව බ්‍රිතාන්‍යයේ ඉහළම සයිබර් ආරක්ෂක නිලධාරියා අනතුරු අඟවයි. බ්‍රිතාන්‍ය ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානයේ (NCSC) ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් හෝන් අද පවත්වන දේශනයකදී මේ පිළිබඳව කරුණු හෙළි කිරීමට නියමිතව ඇති බව බ්ලූම්බර්ග් පුවත් සේවය වාර්තා කරයි. පවතින භූ-දේශපාලනික වෙනස්වීම් හමුවේ බ්‍රිතාන්‍යය සතියකට ඉතා බරපතල ගණයේ සයිබර් ප්‍රහාර හතරකට පමණ මුහුණ දෙන බව පවසන ඔහු චීනය, ඉරානය සහ රුසියාව බ්‍රිතාන්‍යයේ සයිබර් ආරක්ෂාවට තර්ජනයක් වන ප්‍රධාන විරුද්ධවාදීන් ලෙස නම් කර තිබේ. රිචඩ් හෝන් පෙන්වා දෙන්නේ දත්ත අගුළු දමා කප්පම් ලබා ගන්නා “රැන්සම්වෙයාර්” (Ransomware) ප්‍රහාර බහුල වුවද ජාතික වශයෙන් වැදගත් වන ප්‍රධානතම සයිබර් ප්‍රහාර රැල්ල මෙහෙයවනු ලබන්නේ විදේශීය රාජ්‍යයන් විසින් බවයි.
පසුගිය වසර කිහිපය තුළ බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) සහ රෝයල් මේල් තැපැල් සේවය වැනි අත්‍යවශ්‍ය සේවාවන් මෙන්ම ජගුවර් ලෑන්ඩ් රෝවර් (Jaguar Land Rover) සහ මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් (Marks & Spencer) වැනි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතන ද දැවැන්ත සයිබර් ප්‍රහාර රැල්ලක ඉලක්ක බවට පත් විය. මෙම ප්‍රහාර මගින් එරට පොදු සේවාවන් අඩපණ කිරීමට සහ දැවැන්ත මූල්‍ය අලාභයන් සිදු කිරීමට හැකර්වරුන් සමත්ව ඇත. ලෝකය දශක ගණනාවකට පසුව අතිශය ගැටුම්කාරී සහ අස්ථාවර කාලවකවානුවකට එළඹ ඇති බවත් මෙම තත්ත්වය හමුවේ සයිබර් ආරක්ෂාව සහතික කිරීම දැඩි අභියෝගයක් වී ඇති බවත් ඔහු සිය කතාවේදී අවධාරණය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














