ජපානයේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන ශ්‍රම වෙළඳපොළ ප්‍රතිසංස්කරණවල කොටසක් ලෙස වැඩ කරන වේලාවන් සම්බන්ධ ක්‍රමවේදයන් කඩිනමින් සමාලෝචනය කරන ලෙස අගමැතිනි සනායේ ටකායිචි (Sanae Takaichi) අදාළ අමාත්‍යවරුන්ට උපදෙස් ලබා දී තිබේ. බදාදා පැවති ‘ජපාන වර්ධන උපායමාර්ගික කවුන්සිලයේ’ රැස්වීමේදී ඇය මෙම උපදෙස් ලබා දුන් අතර එහිදී විශේෂයෙන්ම ‘Discretionary Labor System’ හෙවත් සේවකයාගේ අභිමතය පරිදි වැඩ කරන වේලාවන් තීරණය කළ හැකි ක්‍රමය ඇතුළු පවතින නීති රීති නැවත පරීක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු විය.
ඉදිරි වසර පහ ඇතුළත ජපානයේ ශ්‍රම ඵලදායිතාව සියයට 15කින් ඉහළ නැංවීමට රජය ඉලක්ක කර ඇති අතර පසුගිය වසර කිහිපය තුළ ජපානයේ වාර්ෂික ශ්‍රම ඵලදායිතා වර්ධනය සියයට 0ක මට්ටමක පැවතීම මෙම තීරණයට හේතු වී තිබේ. මානව සම්පත් ආයෝජන සහ ශ්‍රම වෙළඳපොළ ප්‍රතිසංස්කරණ හරහා රටේ ආර්ථිකය නව මාවතකට ගෙන යාම රජයේ අපේක්ෂාවයි. මෙම පියවර හරහා ජපාන සේවකයින්ගේ වැඩ කරන පරිසරය යාවත්කාලීන කිරීමටත් ගෝලීය වෙළඳපොළ තුළ ජපානයේ තරඟකාරිත්වය ඉහළ නැංවීමටත් අගමැතිනිය බලාපොරොත්තු වේ.














