ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා නව ගුවන් යානා 10ක් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන ඇමරිකානු ඩොලර් මිලියන දෙකක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්ද්‍ර රාජපක්ෂට නිකුත් කර ඇති රතු වරෙන්තුව (Red Notice) ක්‍රියාත්මක කිරීම හිතාමතා ප්‍රමාද කළේ දැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් (CID) ප්‍රශ්න කර තිබේ.
මෙම සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ ශමීන්ද්‍ර රාජපක්ෂ යන සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 2013 වසරේදී යුරෝපීය ගුවන් යානා නිෂ්පාදන සමාගමක් (EADS) හරහා ගුවන් යානා මිලදී ගැනීමේදී බෲනායි රාජ්‍යයේ පිහිටුවූ ව්‍යාජ සමාගමක් මාර්ගයෙන් අමෙරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදුවේ.
විදේශගතව සිටිමින් අධිකරණය මගහැරීම හේතුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ ඉල්ලීමක් මත පසුගිය පෙබරවාරි 02 වැනිදා ශමීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහිව මෙම වරෙන්තු නිකුත් කර තිබුණි. නඩුව ලබන ජූලි 15 වැනිදා දක්වා කල් තැබූ මහේස්ත්‍රාත්වරයා, එදිනට විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය.
















