ලෝක සාමය පතා පා ගමනේ යෙදෙන විදේශීය භික්ෂූන් වහන්සේලාගේ ආරක්ෂාව සහ එම කටයුතුවලට බාධා පමුණුවන පිරිස් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී විශේෂ කරුණු කිහිපයක් අනාවරණය කළේය.
කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ, පා ගමනේ යෙදෙන භික්ෂූන් වහන්සේලා සමඟ එක්ව ගමන් කිරීමට කිසිවෙකුට අවසර නොදෙන බවයි. විවිධ පිරිස්, යූටියුබ් සන්නිවේදකයින් සහ ඡායාරූප ගැනීමට උත්සාහ දරන්නන් නිසා භික්ෂූන් වහන්සේලාට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වී ඇති අතර, ඇතැම් අවස්ථාවලදී පිරිස් පාලනය කිරීමට යාමේදී පොලීසිය සමඟ ද ගැටුම් ඇති වී තිබේ.
මෙම සාම පා ගමනට එක්ව සිටින ‘ආලෝකා’ නමැති සුනඛයා ද මේ වන විට අසනීප තත්ත්වයට පත්ව ඇත. මේ හේතුවෙන් එම සත්වයා පොලිස් නිල සුනඛ අංශයේ සහ පශු වෛද්‍යවරුන්ගේ විශේෂ අධීක්ෂණය යටතේ ගිලන් රථයක් තුළ රඳවා ප්‍රතිකාර ලබා දෙමින් සිටින බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.














