ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සහ ජාතික උපායමාර්ගික දැක්ම තහවුරු කරමින්, ලංකා බැංකුව (BOC) සිය 2025 වාර්ෂික වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් පිළිගැන්වීය. ලංකා බැංකුවේ සභාපති කාවින්ද ද සොයිසා සහ සාමාන්‍යාධිකාරී/ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ. ජයතිලක යන මහත්වරුන් විසින් මෙම වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දෙන ලදී.
මෙම වාර්තාවට අනුව ලංකා බැංකුව 2025 වසරේදී රුපියල් බිලියන 120.8ක බදු පූර්ව ලාභයක් (PBT) වාර්තා කර ඇති අතර, එය මෙරට තනි ආයතනයක් ලැබූ ඉහළම ලාභාංශ අතරින් එකක් ලෙස සැලකේ. එමෙන්ම රජයේ බදු ආදායම සඳහා රුපියල් බිලියන 77කට අධික දායකත්වයක් ලබාදෙමින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන් බැංකුව ඉටුකළ තීරණාත්මක කාර්යභාරය මෙහිදී ඇගයීමට ලක් විය.
තරුණ ප්‍රජාව, කාන්තා ව්‍යවසායකයින්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් සහ අපනයනකරුවන් සවිබල ගැන්වීම සඳහා බැංකුව විශේෂ අවධානයක් යොමු කර ඇත. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පෝස්ට් (Sri Lanka Post) සමඟ එක්ව ක්‍රියාත්මක කරන ‘BOC Connect’ නියෝජිත බැංකු සේවාව හරහා දිවයින පුරා මූල්‍ය ඇතුළත් කිරීම් පුළුල් කිරීමට බැංකුව සමත්ව තිබේ. ඉදිරියේදී ඩිජිටල් පරිවර්තනය වේගවත් කරමින් ජාතික ආර්ථික ප්‍රමුඛතාවයන් සමඟ පෙළගැසී කටයුතු කිරීමට ලංකා බැංකුව සිය කැපවීම යළිත් අවධාරණය කළේය.














