රොබෝ ටැක්සි (Robotaxis) සහ පියාඹන මෝටර් රථ වැනි අතිනවීන තාක්ෂණයන් ලෝකය පුරා ප්‍රචලිත කිරීමට චීනය ගන්නා උත්සාහය තුළින් ඔවුන්ගේ ගෝලීය අභිලාෂය මෙන්ම එරට තුළ පවතින දැඩි ආර්ථික යථාර්ථය ද මැනවින් පිළිඹිබු වන බව අද (23) නිකුත් වූ වාර්තා පෙන්වා දෙයි. ලොව දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය, මේ වන විට ලොව දියුණුම සහ විශාලතම මෝටර් රථ වෙළෙඳපොළ බවට පත්ව ඇතත්, එරට දේශීය වෙළෙඳපොළ තුළ පවතින දැඩි මිල තරගය (Price war) හේතුවෙන් නිෂ්පාදකයින් විශාල අර්බුදයකට මුහුණ දී සිටී.
වසර කිහිපයක් පුරා පවතින මෙම මිල තරගය හේතුවෙන් චීනය තුළ විදුලි මෝටර් රථ අතිරික්තයක් නිර්මාණය වී ඇති අතර, බටහිර ලෝකය තවමත් හඳුනා නොගත් චීන සමාගම් රැසක් සිය නිෂ්පාදන දේශීයව අලෙවි කරගත නොහැකිව පීඩනයට පත්ව සිටියි. මෙම තත්ත්වය හමුවේ සිය දේශීය කර්මාන්ත රැක ගැනීම සඳහා එම නිෂ්පාදන ගෝලීය වෙළෙඳපොළ වෙත යොමු කිරීමට චීනය දැඩි උත්සාහයක නිරත වේ. නවීන තාක්ෂණයෙන් සන්නද්ධ චීන වාහන ජාත්‍යන්තර වෙළෙඳපොළ ආක්‍රමණය කිරීම හරහා ලෝක මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වීමට චීනය සැලසුම් කරන අතරම, තම රට තුළ පවතින ආර්ථික මන්දගාමීත්වය මඟහරවා ගැනීමට ද ඔවුන් උත්සාහ කරමින් සිටින බව විචාරකයෝ පවසති.














