වසර ගණනාවක් පුරා නිසි ප්‍රතිකාර උපකරණ නොමැතිව වේදනාවෙන් පීඩා විඳි දහස් සංඛ්‍යාත රෝගීන්ගේ ප්‍රාර්ථනාවන් මල්ඵල ගන්වමින්, මෙරට සෞඛ්‍ය සේවාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට රජය සමත්ව තිබේ. විශේෂයෙන්ම ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන පිළිකා සහ රුධිරවාහිනී රෝගීන් මෙන්ම ශල්‍යකර්මවලට බියෙන් පසුවූ මූත්‍රා ගල් සහිත රෝගීන් වෙනුවෙන් මහනුවර ජාතික රෝහල වෙතින් දැන් අති නවීන විසඳුම් හිමිව ඇත. රුපියල් මිලියන 600 ක දැවැන්ත පිරිවැයක් දරමින් සිදුකළ මෙම යාවත්කාලීන කිරීම, මධ්‍යම කඳුකරයේ ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාවය සහතික කරන බලගතු පියවරක් ලෙස දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබේ.
මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කළ මෙම ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 200 ක් වටිනා ESWL යන්ත්‍රය මඟින් කිසිදු ශල්‍යකර්මයකින් තොරව, අති ධ්වනි තරංග භාවිත කර මූත්‍රා ගල් කුඩු කර පිටකිරීමේ පහසුව දැන් රෝගීන්ට හිමිවේ. එසේම, වසර තුනකට අධික කාලයක් අක්‍රීයව පැවති පද්ධතිය වෙනුවට ස්ථාපනය කළ රුපියල් මිලියන 400 ක් වටිනා නව Digital Subtraction Angiography (DSA) යන්ත්‍රය මඟින් රුධිරවාහිනී ආශ්‍රිත රෝග සහ පිළිකා හඳුනාගැනීම පමණක් නොව, ශරීරයේ ඉතා කුඩා සිදුරක් හරහා ඇතුළු කරන කැතීටරයක් ආධාරයෙන් අතිශය නිරවද්‍ය ලෙස ප්‍රතිකාර කිරීමේ පහසුකම ද උදාවී ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කරන ලද මෙම සැලසුම් සහගත වැඩපිළිවෙල මඟින් සනාථ වන්නේ, තාක්ෂණික දියුණුව රජයේ රෝහල් පද්ධතිය තුළට ගෙන ඒම හරහා සාමාන්‍ය ජනතාවට ද ලෝකයේ දියුණුතම ප්‍රතිකාර ක්‍රම නොමිලේ ලබාගැනීමේ අවස්ථාව උදාවී ඇති බවයි. මිල අධික පෞද්ගලික රෝහල් කරා යාමට වත්කමක් නොමැති අසරණ රෝගීන්ට මෙම අධි තාක්ෂණික ප්‍රතිකාර යන්ත්‍ර දෙක සැබෑවටම ජීවිතාශීර්වාදයක් වනු නොඅනුමානය. නවීන තාක්ෂණය සහ මානුෂීය මෙහෙවර එක්තැන් වූ මෙවැනි ව්‍යාපෘති හරහා රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නව මානයකට ගෙන යන අතරම, සෞඛ්‍ය සම්පන්න හෙට දවසක් වෙනුවෙන් වූ විශ්වාසය ජනතාව තුළ යළි තහවුරු වී තිබේ.














