සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, එම අමාත්‍යාංශයේ ලේකම්වරිය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
පෙත්සම්කාර හිමියන් පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි ව්‍යවස්ථාව අනුව බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීම රජය වෙත පැවරී ඇති බවයි.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට සිර දඬුවම් නියම වීමෙන් පසු ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී චීවරය ඉවත් කර සිවිල් ඇඳුමින් ඉදිරිපත් කර ඇති බව ද පෙත්සමේ සඳහන් වේ.
එම තීරණය බන්ධනාගාර රෙගුලාසිවලට සහ බෞද්ධ විනය නීතිවලට පටහැනි බව පෙත්සම්කාර හිමියන්ගේ තර්කයයි.
ඒ අනුව, චීවරය ඉවත් කිරීමට ගෙන ඇති තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්, එවැනි ක්‍රියාවකට බල කෙරෙන රෙගුලාසියක් හෝ චක්‍රලේඛයක් පවතී නම් එය ද බල රහිත කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කාර හිමියන් අධිකරණයෙන් ඉල්ලා සිටී.















