ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික උත්සව දින දර්ශනය (National Event Calendar) ඊයේ (23) කොළඹදී එළිදක්වන ලදී. කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ උත්සව කළමනාකරණ ක්ෂේත්‍රය 2025 වසර වන විට රුපියල් බිලියන 60ක පමණ වටිනාකමකින් යුක්ත විය. මෙම නව දින දර්ශනය හරහා සංස්කෘතික උත්සව, ක්‍රීඩා ඉසව්, සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන වැනි ප්‍රධාන සිදුවීම් එක් රැස් කරමින් දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා නිල මාර්ගෝපදේශයක් සැපයීමට බලාපොරොත්තු වේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව උත්සව කළමනාකරණ ක්ෂේත්‍රය තුළ විශාල විභවයක් පවතින බවයි. ශ්‍රී ලංකාව කලාපීය උත්සව කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම රජයේ අරමුණ බව ද හෙතෙම පැවසීය.
මෙම ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිස් සඳහා විධිමත් පුහුණුවක් ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර උත්සව කළමනාකරණය සහ අලෙවිකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් ද මෙහිදී හඳුන්වා දෙන ලදී.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ක්ෂේත්‍රයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
















