ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය හරහා ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යලංකාර මහතා පෙන්වා දෙන්නේ, මෙවැනි සයිබර් ප්‍රහාර වැළැක්වීමට අවශ්‍ය තාක්ෂණික ක්‍රමවේද පවතින බවයි. මෙම වංචාව සඳහා වර්තමානයේ ප්‍රචලිත ‘Business Email Compromise’ (BEC) නම් උපක්‍රමය භාවිතා කර ඇති අතර, මෙහිදී සිදුවන්නේ ආයතන දෙකක් අතර හුවමාරු වන ඊමේල් පණිවිඩ අතරට පිවිස ඉන්වොයිස් පත්වල ඇති බැංකු ගිණුම් තොරතුරු වෙනස් කර මුදල් වෙනත් ගිණුමකට බැර කරවා ගැනීමයි. පෞද්ගලික අංශයේ ආයතන රැසක් මෙවැනි ප්‍රහාරවලට ලක්වන පසුබිමක, රටේ මුදල් පාලනය කරන මහා භාණ්ඩාගාරය වැනි වගකිවයුතු ආයතනයක මෙවැනි සිදු වීමක් වාර්තා වීම බරපතල ගැටලුවක් බව ඔහු පෙන්වා දෙයි.
බැංකු පද්ධතිය තුළ මෙවැනි සයිබර් ප්‍රහාර අවම වී ඇත්තේ ශ්‍රී ලංකා මහා බැංකුවේ නිර්දේශය මත ඔවුන් ‘ISO 27001’ නම් සයිබර් ආරක්ෂණ ප්‍රමිතිය අනුගමනය කරන බැවින් බව වෛද්‍යලංකාර මහතා පවසයි. මෙම ප්‍රමිතිය මඟින් ආයතනයක සයිබර් ආරක්ෂණ පද්ධතිය නිරන්තරයෙන් බාහිර විගණනයකට ලක්වන අතර, එමඟින් පවතින දුර්වලතා හඳුනාගෙන පිළියම් යෙදීමට අවස්ථාව ලැබේ. මහා භාණ්ඩාගාරය වැනි ආයතනයක් බැංකුවලටත් වඩා ඉහළ මට්ටමේ ආරක්ෂක පියවර සහ ISO තත්ත්ව සහතික අනුගමනය කළේ නම්, මෙවැනි මූල්‍ය හානියක් වළක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට හැකියාව තිබූ බව සයිබර් ආරක්ෂණ විශේෂඥවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.













