මාර්ග සංවර්ධන අධිකාරියේ (RDA) ප්‍රධාන ගිණුමෙන් කොන්ත්‍රාත්කරුවන් වෙත රුපියල් මිලියන 380ක මුදලක් වැරදීමකින් දෙවරක් ගෙවා ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එම අධිකාරිය නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන ලද මෙම චෝදනාව පදනම් විරහිත බවත්, සත්‍ය කරුණු වසන් කරමින් මහජනතාව නොමඟ යැවීමේ චේතනාවෙන් මෙය සිදුකර ඇති බවත් එම නිවේදනයේ දැක්වේ. 2023 වසරේදී සිදුකළ ගෙවීම් සම්බන්ධයෙන් එල්ල වූ මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරන මාර්ග සංවර්ධන අධිකාරිය, තමන් සතු කිසිදු ගිණුමකින් එවැනි ද්විත්ව ගෙවීමක් සිදු වී නොමැති බවත්, ආයතනයට කිසිදු මූල්‍ය අලාභයක් සිදුවී නොමැති බවත් සහතික කර සිටියි.
මෙම අසත්‍ය ප්‍රකාශය රාජ්‍ය ආයතනයක කීර්ති නාමයට හානි කිරීමේ ද්වේශ සහගත උත්සාහයක් ලෙස හඳුන්වා දෙන මාර්ග සංවර්ධන අධිකාරියේ කළමනාකාරීත්වය, අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය මාර්ගයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව ද දන්වා සිටියි. සත්‍යාපනය නොකළ තොරතුරු සමාජගත කිරීමෙන් වළකින ලෙසත්, වගකීම් සහගතව කරුණු විමසන ලෙසත් එම අධිකාරිය මාධ්‍ය ආයතනවලින් සහ මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.














