ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඉදිරිපත් කරන කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. අද (26) කොළඹ නිපොන් හෝටලයේ පැවැති ‘ෆ්‍රී ලෝයර්ස්’ (Free Lawyers) සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙම මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් රජයේ කිසිදු දේශපාලනඥයෙකු හෝ වගකිවයුතු නිලධාරියෙකු මෙතෙක් නිසි වගකීමක් ගෙන නොමැති බව ඒ මහතා මෙහිදී අවධාරණය කළේය. මුදල් අමාත්‍යාංශය, භාණ්ඩාගාරය මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව ද මෙම බරපතළ මූල්‍ය අතපසුවීමට සෘජුවම වගකිව යුතු බව තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
විශේෂයෙන්ම මහ බැංකුව සතු වගවීම පිළිබඳව පාර්ලිමේන්තුවට සහ රටට පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බවත්, හැකර් ප්‍රහාරයක් යනුවෙන් හුවා දක්වමින් මෙම සිදුවීම යටපත් කිරීමට දරන උත්සාහය පිළිගත නොහැකි බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. මහා භාණ්ඩාගාරයේ ආරක්ෂාව පිළිබඳ පවතින විශ්වාසය මෙමඟින් බිඳ වැටී ඇති බව ද හිටපු ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.













