ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය සමථයකට පත් කර ගැනීමට සාකච්ඡා කිරීමට අවශ්‍ය නම්, තමන්ට දුරකතන ඇමතුමක් ලබා දිය හැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. “ඔවුන්ට සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් අප වෙත පැමිණිය හැකියි, නැතිනම් ඇමතුමක් දිය හැකියි. අප සතුව ඉතා හොඳ ආරක්ෂිත දුරකතන මාර්ග තිබෙනවා” යනුවෙන් ඔහු Fox News නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඕනෑම එකඟතාවයකදී ඉරානය කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය නොකළ යුතු බවට ට්‍රම්ප් දැඩි කොන්දේසියක් පනවා ඇත. මේ අතර, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි පකිස්ථානය සහ ඕමානය සමඟ මැදිහත්කාර සාකච්ඡා පවත්වා මේ වන විට රුසියාව බලා පිටත්ව ගොස් ඇති අතර එහිදී ඔහු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් හමුවීමට නියමිතය. හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සහ සාමය ස්ථාපිත කිරීම සඳහා වන නව යෝජනාවලියක් ද ඉරානය විසින් පකිස්ථාන මැදිහත්කරුවන් හරහා ඇමරිකාවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.














