ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ඉතාමත් අසමතුලිත මනසක් ඇති අයෙකු බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියි. 31 හැවිරිදි කෝල් ටොමස් ඇලන් නමැති මෙම සැකකරු ප්‍රහාරයට පෙර තමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත ‘ක්‍රිස්තියානි විරෝධී’ ප්‍රකාශනයක් (Manifesto) යොමු කර ඇති බවද හෙළි වී තිබේ.
“ඔහු මුලින් ක්‍රිස්තියානි භක්තිකයෙක්ව සිට පසුව දැඩි ක්‍රිස්තියානි විරෝධියෙකු බවට පත්ව තිබෙනවා. ඔහු සැබවින්ම අසනීප තත්ත්වයකින් පසුවූවෙක් විය හැකියි” යනුවෙන් ජනාධිපතිවරයා CBS නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේය. මෙම සැකකරු සතුව තිබී ගිනි අවි සහ පිහි කිහිපයක් ද සොයාගෙන ඇති අතර ඔහු හෙට (27) දිනයේදී ෆෙඩරල් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සිදුවීමත් සමඟ ධවල මන්දිරය තුළ ඉදිකිරීමට යෝජිත නව ආරක්ෂිත උත්සව ශාලාවේ කටයුතු කඩිනම් කළ යුතු බව ජනාධිපති ට්‍රම්ප් යළිත් අවධාරණය කර ඇත.














