දූෂණ චෝදනා මත බන්ධනාගාරගත කර සිටින මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්, තමන්ට නියම වූ සිරදඬුවමේ ඉතිරි කාලය නිවාස අඩස්සියේ සිට ගෙවා දැමීමට අවසර ඉල්ලා ඉදිරිපත් කර තිබූ අභියාචනය ඉල්ලා අස්කර ගෙන ඇති බව වාර්තා වේ. කෝටි ප්‍රකෝටි ගණනක 1MDB මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වැරදිකරු වී සිටින ඔහු, 2022 වසරේ සිට වසර හයක සිරදඬුවමක් විඳිමින් සිටියි.
හිටපු රජු විසින් නිකුත් කළ බව කියන අතිරේක නියෝගයක් මගින් තමන්ට නිවාස අඩස්සියේ සිටීමට අවසර ලැබී ඇති බව පවසමින් නජීබ් රසාක් අධිකරණයට කරුණු ඉදිරිපත් කළද, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මැලේසියානු මහාධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය මෙලෙස ඉල්ලා අස්කර ගැනීමත් සමඟ ඔහුට දිගටම බන්ධනාගාරයේ සිට දඬුවම් විඳීමට සිදුවනු ඇත. මීට අමතරව, පසුගිය දෙසැම්බර් මාසයේදී තවත් නඩු කිහිපයකට අදාළව ඔහුට අමතර වසර 15ක සිරදඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක් ද නියම විය.














