යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙලෙස ඔහු අත්අඩංගුවට පත්ව ඇත.
මෙම ගැටුමට ඉඩම් ආරවුලක් මුල් වී ඇති අතර, අදාළ ඉඩම තමන් සතු බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, තවත් පාර්ශවයක් ද එහි අයිතිය ඉල්ලා සිටින අතර මේ සම්බන්ධයෙන් මල්ලාකම් අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් පවතින බව වාර්තා වේ.
පසුගිය 25 වැනිදා මන්ත්‍රීවරයා අදාළ ඉඩම පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදී, එහි පැමිණි කාන්තාවන් දෙදෙනෙකු සමඟ උණුසුම් බහින්බස් වීමක් ඇති වී තිබේ. එහිදී කිසිදු ආයුධයක් නොමැතිව සිටි කාන්තාවන් වෙත මන්ත්‍රීවරයා සිය සන්තකයේ තිබූ පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර ඇති බවට චෝදනා එල්ල වේ.
මෙම සිදුවීමට අදාළ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වූ අතර, ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව පොලිසිය විසින් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇත.














