බේකරි නිෂ්පාදන බෙදා හරින “චූන් පාන්” ත්‍රීරෝද රථයක් ධාවනය වෙමින් තිබියදී රෝදයක් ගැලවී ගොස් පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් අද (27) උදෑසන මාරක රිය අනතුරක් සිදුව තිබේ. පාදුක්ක – හොරණ මාර්ගයේ බොරළුකැටිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව පාදුක්ක පොලිසිය පවසයි.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර හතරලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 43 හැවිරිදි තිදරු පියෙකි. ඔහු හොරණ කොටිගම්ගොඩ ප්‍රදේශයේ සිට පාදුක්ක දෙසට වෙළඳාම් කටයුතු සඳහා ත්‍රීරෝද රථය ධාවනය කරමින් සිටියදී මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත.
ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයේ දකුණු පස රෝදය එක්වරම ගැලවී යාම හේතුවෙන් රියදුරාට රථය පාලනය කර ගැනීමට නොහැකි වී තිබේ. එහිදී රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට ඇදී ගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී ඇත. බරපතල තුවාල ලැබූ රියදුරා පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
අනතුර වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව මත ලොරි රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මීට අමතරව, අනතුර සිදු වූ අවස්ථාවේදී ලොරි රථ රියදුරුට පහර දීමට තැත් කළ ප්‍රදේශවාසියෙකු ද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරුවන් දෙදෙනාම හෝමගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පාදුක්ක පොලිසියේ රථ වාහන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














