ශ්‍රී ලංකාවේ ධීවර හා සාගර සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඩෙන්මාර්කයේ ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයක් සමඟ සාර්ථක සාකච්ඡා මාලාවක් පැවැත්වූ බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය නිවේදනය කරයි. ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා සහ අමාත්‍යාංශ ලේකම් කෝලිත කමල් ජිනදාස මහතා ඇතුළු දූත පිරිසක් ඩෙන්මාර්කයේ සිදුකළ නිල සංචාරයකදී මෙම එකඟතාවන්ට එළඹ තිබේ.
ලොව දැවැන්තම නාවික සමාගමක් වන MAERSK සමාගම සමඟ පැවැති සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ ධීවර පවුල්වල තරුණ පිරිසට සහ නාවික ක්ෂේත්‍රයේ පළපුරුදු වෘත්තිකයින්ට ජාත්‍යන්තර නෞකාවල රැකියා අවස්ථා ලබාදීම කෙරෙහි අවධානය යොමු විය. මෙරට නාවික පුහුණු ආයතන සමඟ එක්ව ප්‍රායෝගික පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර ලාංකිකයින්ට විශේෂ රැකියා කෝටාවක් ලබා ගැනීමට මූලික එකඟතාවන් ඇති කරගෙන තිබේ.
ඩෙන්මාර්ක කර්මාන්ත මණ්ඩලය (Danish Industry) සමඟ පැවැති හමුවේදී මෙරට ධීවර ක්ෂේත්‍රයට ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීම, තිරසාර මුහුදු සංචාරක ව්‍යාපාරය සහ නවීන මත්ස්‍ය පිරිසැකසුම් මධ්‍යස්ථාන ඇති කිරීම පිළිබඳව අවධානය යොමු විය. මේ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට ඩෙන්මාර්ක පාර්ශවය එකඟතාව පළ කර ඇත.
සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන ‘Impact Fund’ ආයෝජන අරමුදල හරහා මෙරට හරිත බලශක්ති ව්‍යාපෘති සහ මත්ස්‍ය පිරිසැකසුම් කර්මාන්තශාලා සඳහා සහනදායී අඩු පොලී ණය ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ආයෝජන සමුළුවකට සහභාගී වන ලෙස ද අමාත්‍යවරයා එහිදී ආරාධනා කර තිබේ.
මෙම සංචාරය හරහා මෙරට විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත්, ජාත්‍යන්තර රැකියා වෙළඳපොළ ජය ගැනීමටත් ශක්තිමත් පදනමක් වැටුණු බව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














