මහ භාණ්ඩාගාරයේ සිදුවූ බව කියන ඩොලර් මිලියන 2.5ක මූල්‍ය මංකොල්ලය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය වෙත විවෘත ප්‍රශ්න 22ක් යොමු කිරීමට ‘ෆ්‍රී ලෝයර්ස්’ (Free Lawyers) සංවිධානය පියවර ගෙන තිබේ. මෙම සිදුවීම හෙළිදරව් වී දින පහක් ගතවී ඇතත් මේ දක්වා සිද්ධිය පිළිබඳව මහෙස්ත්‍රාත් අධිකරණයකට කරුණු වාර්තා කිරීම හෝ සැක සහිත නිලධාරීන්ගේ සාක්ෂි සටහන් කිරීම සිදු කර නොමැති බව එම සංවිධානය චෝදනා කරයි.
එම සංවිධානය විසින් යොමු කරන ලද ප්‍රශ්නාවලිය හරහා විමර්ශනවල ප්‍රමදය සහ වගකීම පිළිබඳව කරුණු කිහිපයක් මතු කර ඇත. භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම හෝ මංකොල්ලකෑම රජය පිළිගන්නේ දැයි ප්‍රශ්න කරන ඔවුන්, 2025 සැප්තැම්බර් මාසයේ මුදල් අමාත්‍යාංශ දත්ත පද්ධතියට එල්ල වූ සයිබර් ප්‍රහාරය පිළිබඳව ජනාධිපතිවරයා හෝ මුදල් අමාත්‍යාංශය දැනුවත්ව සිටියේ දැයි විමසා සිටියි. එසේම මුදල් සහ ජාතික ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මෙම මංකොල්ලයේ වගකීම ජනාධිපතිවරයා භාරගන්නේ දැයි එම සංවිධානය වැඩිදුරටත් ප්‍රශ්න කරයි.
මුදල් ලේකම්වරයාගේ භූමිකාව සම්බන්ධයෙන් ද ෆ්‍රී ලෝයර්ස් සංවිධානය දැඩි විවේචන ඉදිරිපත් කර තිබේ. වර්තමාන මුදල් ලේකම් හර්ෂණ සුරියප්පෙරුම මහතා මාලිමාවේ හිටපු මන්ත්‍රීවරයෙකු බවත් ඔහුට මෙම ක්ෂේත්‍රය පිළිබඳ පූර්ව පළපුරුද්දක් නොමැති බවත් රජය පිළිගන්නේ දැයි ඔවුන් විමසයි. විමර්ශනයට අදාළ සාක්ෂි විනාශ වෙමින් පවතින බවට එල්ල වන චෝදනා හමුවේ ඔහු තවදුරටත් එම ධූරයේ තබාගන්නේ මන්දැයි ප්‍රශ්න කරන එම සංවිධානය, ස්වාධීන විමර්ශනයක් සඳහා ඔහුව වහාම ධූරයෙන් ඉවත් කිරීමට රජය ක්‍රියා කරන්නේ දැයි දැන ගැනීමට අපේක්ෂා කරයි.
තොරතුරු වසන් කිරීමේ චෝදනාව ද රජයට එල්ල කර ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව ප්‍රකාරව මූල්‍ය පාලනය පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට රජය අපොහොසත් වූයේ මන්දැයි ඔවුන් විමසා සිටියි. අප්‍රේල් 21 වන දිනට පෙර මෙම අපරාධය පිළිබඳව පොලිසියට හෝ පරිගණක අපරාධ විමර්ශන ඒකකවලට පැමිණිලි කර තිබුණේ දැයි ප්‍රශ්න කරමින්, මෙම ප්‍රශ්න 22 සඳහා රජය වහාම විවෘත පිළිතුරු ලබාදිය යුතු බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය අවධාරණය කරයි. භාණ්ඩාගාරයේ සිදුවූ බව කියන මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.














