පසුගිය 26 වන දින සවස වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායම් දෙකක් විසින් දිවයිනේ ප්‍රදේශ දෙකක සිදු කළ වැටලීම්වලින් නීති විරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පළමු වැටලීම පිංවත්ත පොලිස් වසමේ පැරඩයිස්වත්ත ප්‍රදේශයේදී සිදු කර ඇති අතර එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 75ක් හෙවත් බෝතල් 100ක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. දෙවන වැටලීම දිවුලපිටිය පොලිස් වසමේ දූනගහ ප්‍රදේශයේදී සිදු කර ඇති අතර එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 78.5ක් හෙවත් බෝතල් 105ක් සමඟ අනෙක් සැකකරු අත්අඩංගුවට පත්ව තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 45 සහ 48 යන වයස්වල පසුවන දූනගහ සහ පානදුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි. වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














